ලොව පුරා සිංහල කියවන දනන් වෙත සිංහලේ 2010 බ්ලොග් සඟරාව පිළිගන්වන්නේ අපමණ සොම්නසිනි. සිහල බසින් මුද්‍රිත සඟරාවක් මෙරට දී සීමා සහිත පාඨකයන් පිරිසක් අතට පත්වෙද්දී අන්තර්ජාලයට පිවිසෙන මෙවැනි සඟරාවකට ලොව පුරා සිංහල කියවන්නන් අති මහත් පිරිසක් වෙත සපැමිණීමට හැකි වීම ලොකු ජයක් වන්නේය.
මුද්‍රිත මාධ්‍යයෙන් පුවත්පත්- සඟරා ද විද්‍යුත් මාධ්‍යයෙන් රූපවාහිනී-ගුවන්විදුලි නාලිකා ද අන්තර්ජාලයෙන් වෙබ් බ්ලොග් අඩවි ද රැසක් සිංහල බසින් ලොව පුරා නිතිපතා විසිරෙද්දී තවත් සිංහල බ්ලොග් අඩවියක් මෙසේ බිහි කරන්නේ ඇයි දැයි පෙන්වා දීම අප ගේ යුතුකමකි.
මේසා සිංහල ප්‍රකාශන සම්බාරයක් දිනපතා විසුරුවා හැරුණත් සිංහලයට තව ම ලැබී ඇත්තේ කුඩම්මා ගේ සැලකිලි ය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන තුළ පවා එහි සිංහල ප්රකාශනයට වඩා ඉංගිරිසි ප්රකාශනයට වැඩි තැනක් හිමි වේ. අන්තර්ගතයේ ගැඹූර, නිවැරැදිතාව, නිසි වදන් යෙදූම, වියරණය සහ සෝදුපත් බැලීම අතින් වූව ද මේ වෙනස කැපී පෙනෙන්නේ ය. සිංහලේ 2010 බ්ලොග් සඟරාව ඉදිරිපත් කෙරෙන්නේ මේ අඩුව හැකි පමණින් හෝ සපුරා ලන්නටයි. එසේ නොමැති ව අන් කිසිදූ ජන මාධ්‍යයකට විකල්පයක් වන්නට නොවේ.
බොහෝ සිංහල ප්රකාශනවල විෂය පටු වීමට එක හේතුවක් වන්නේ අවශ්‍ය සිංහල වදන්වල හිඟ කමයි. එයින් සිංහල කියවන්නා ගේ දැනූම සීමා කෙරේ. විසඳුම වන්නේ අවශ්‍ය තැන්හි දී නිසි නව සිංහල වදන් තැනීම ය. එහෙත් බොහෝ සිංහල ප්රකාශනවලට මේ කටයූත්තට අතගැසීමට දිරියක් නොමැත.
සිංහලයට සහ ශ්‍රී ලංකාවට අදාළ සපිරි ම තොරතුරු සිංහල ඇසින් බලා සිංහලෙන් පළ කිරීම සිංහලේ 2010 බ්ලොග් සඟරාවේ දැක්ම යි. සපිරි ම තොරතුරු යනුවෙන් හැඳින්වෙන්නේ නිවැරදි, පැහැදිළි, ළිහිල්, පිරිපුන් සහ අලුත් තොරතුරු ය.
සිංහලේ 2010 බ්ලොග් සඟරාව සිය දැක්ම මුදුන් පත්කරගන්නේ සිව් වැදෑරුම් මෙහෙවරකිනි.
1.සිංහලේ 2010 සැම විට ම සැබෑව මුල් තැනෙහි ලා සලකන්නේ ය.
2.සිංහලේ 2010 සැම විට ම තොරතුරු පුළුල් ලෙස ගෙනහැර දක්වන්නේ ය. මෙතෙක් සිංහල කියවන්නන් වෙතින් බොහෝ දුරට දුරස් කොට ඉංගිරිසියට පමණක් සීමා කර තිබූණු, සිංහලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සිහල බසින් ගෙන එන්නේය.
3.සිංහලේ 2010 සැම විට ම සිංහලයේ සහ ශ්‍රී ලංකාවේ පැත්ත ගන්නේ ය. එහෙත් කිසිවකු ගේ හෝ කවර ආයතනයක හෝ අනුගාමිකයකු නොවන්නේ ය. කිසිදු පුද්ගල අරමුණක් උදෙසා පෙනී නො සිටින්නේ ය. කවර හෝ වාණිජ අරමුණක් නො පවත්වන්නේ ය.
4.සිංහලේ 2010 සැම විට ම මෙහෙවර ඉටු කිරීමේ මෙවලම වන සිහල බස මැනවින් භාවිත කරන්නේ ය. සිංහල කියවන්නන් වෙතින් නව දැනුම දුරස් කරලීමට හේතු වන පරිදි පසු ගිය අඩ සියවස තුළ සිංහලෙන් තැනූ නොනිසි වදන් පෙන්වා දෙන්නේ ය. ඒවා බැහැර කරන්නේ ය. ඇවැසි තැන් වල නව සිංහල වදන් නිපදවා ඒවා පතළ කරන්නේ ය.
මෙකී සිව් වැදෑරුම් මෙහෙවර ඔස්සේ සිය දැක්ම සපල කරන්නට පෙරට යන සිංහලේ 2010 බ්ලොග් සඟරාව සමඟ අත්වැල් බැඳගන්නා මෙන් සිංහල කියවන්නන්ට සාදරයෙන් ඇරයුම් කරමු.
සිංහලේ 2010 බ්ලොග් සඟරාව මුළුමනින්ම කැප වන්නේ එය කියවන ඔබ උදෙසා ය. අපට වැදගත් ම වන්නේ ඔබ ය. එබැවින් ඔබේ අදහස් උදහස් නොපැකිල ව අප වෙත දන්වති යි අපි තරයේ ම අදහමු.
good attemp.good luck.
ReplyDeleteDVW